6/19/12

සමනල් ලෝකය..

                    තුන් අතරින් මම වැඩිම කැමැත්තක් දක්වන්නෙ කුරුල්ලන්ටයි. ඒ ඔවුන් ලස්සන හින්දමත් නෙවෙයි. අහස පුරා නිදහසේ පියාඹන කුරුල්ලන් දකින විට සිතට ඇතිවන සැහැල්ලුව වචනයෙන් කිව නොහැකි තරම්. පසුගිය කාලයේදී ගෙවතු කුරුල්ලන් කීප දෙනෙකු කූඩු හදන අයුරු පින්තූර ගත්තද එය පහසු කාර්යක් නොවන බව ඉක්මනින්ම වැටහුනා. ඉහලින් සිටින කුරුල්ලන්ගේ පින්තූර  ගැනීමට තරම් මගේ පුංචි කැමරාව ප්‍රමාණවත් නොවීම එයට හේතුවයි.
සිව්රු හොරා

සමනලුන්ගේ  පින්තූර ගැනීමට  මා පෙළඹුනේ මීට සති කීපයකට කලිනුයි. ඉඩෝරයට වියලී ගිය පුංචි පැළයක මොනවදෝ සොයමින් සිටි ‍මේ දෙදෙනා මගේ මුල්ම සමනල  පින්තූරය වුණා. 
Common Crow

මෙලෙසින් සමනලුන් කිහිප දෙනෙකුගේ පින්තූර   එකතු කර ගත්තද, ඔවුන් ගැන වැඩි උනන්දුවක් ඇතිවුනේ  "Butterfly Interest Group" යහළුවන් හමුවීමෙන් පසුවයි.  සමනලයන් හදුනාගැනීමට ඔවුන්ගෙන් අනගි සහයක් ලැබීම එයට හේතුවයි.  වෙහෙසවී සමනලයකුගේ පින්තූරයක් ලබාගන්නවා  වගේම  සතුටක්,   සමනලයකු නමින් හදුනා ගත්විට ඇතිවනවා.
Common Leopard
සමනලයන් ගැන උනන්දුව ඇතිවීමෙන් පසුව ගෙවත්තේ මල් ගොමු අතර සැරිසරන අලංකාර සමනලුන් දැකගත හැකි වුනා. මෙතරම් කාලයක් ඔවුන් දැකගත නොහැකිවුයේ ඇයි දැයි මටම ගැටලුවක් වුණා.
White Four-Ring
මේ  ඉන්නේ  White Four -Ring  ලෙස හදුන්වන සමනලයයි. සිතිරි සිව්වා ලෙස මෙම සමනලයා සිංහලෙන් හදුන්වනවා. අලුත් රුපියල් 1000 නෝට්ටුවේ මේ සමනලයාගේ රූපය දැක ගත හැකියි.  අලුතින් නිකුත් කල සෑම මුදල් නෝට්ටුවකම සමනල් රුවක් අන්තර්ගත වනවා. සමනලුන්ගේ ඇති වටිනාකම ඉන් මනාව පෙන්නුම්කරනවා.
Lemon Pansy
සමනලයන් ගැන දැන ගැනීමේදී මෙම වෙබ් අඩවියත් මට උපකාරයක් වුණා.  http://slbutterflies.lk/index.php  මට වගේම ඔබටත් එය ප්‍රයෝජනවත් වේවි. සමනලුන්ගේ ලෝකයට පිවිස, එහි සුන්දරත්වය අත්විඳින්නට මා ඔබටත්  ආරාධනා කරනවා....

                  ගල් වැට අද්දර තිබෙන බාලොලියා පදුරට හෙටත් උදෑසන සමනලුන් පැමිණේවි. රන්වන් හිරු එළියෙන්  නැහැවුන  මල් මත වසා, නිසොල්මනේ පැණි බොන අලංකාර සමනලයන්   දැකගැනීම මගේ ප්‍රාර්ථනයයි !

6/15/12

දෙමලිච්චාගේ කථාව..

             මේක ටික කලකට උඩදී  වුණ සිදුවීමක්.  මගේ පරිගණකයේ තිබුන මේ පින්තූර කීපය දැක්කම ආයෙත් මතක් වුනා.  වැඩක් නැති දවසට  කැමරාවත් අරගෙන වත්ත වටේ රවුමක් යන එක මගේ සිරිතක්. වත්ත වටේ යනව කිව්වට ලොකු වත්තක් නෙවේ. ඒත් කැමරාවත් අරගෙන යනකොට පුංචි පුංචි සුන්දර දේවල් දකිනව. එතකොට ගමන දිගු වෙනවා. අලුත් අවුරුද්ද ලං වෙලා තිබුන නිසා එදා මම ගියේ අපේ කෙසෙල් කොටුව පැත්තට.
හොදට පැහිල තියන කෙසෙල් කැන් දිහා ඇහැ ගහගෙන යනකොට කැනක් උඩ හිටපු දෙමලිචිචෙක් කෑගන්න පටන් ගත්ත. හොදට විපරම් කරල බලනකොට තමයි දැකකේ කැන උඩ පුංචි කූඩුවක් තියන බව.
පහල ඉදල පින්තූර ගන්න අමාරු නිසා කණු තුනක් හිටවල අට්ටාලයකුත් අටව ගත්ත. ඊට පස්සෙ දින කීපයක්ම දවසෙ වැඩි කාලයක් ගෙවා දැම්මෙ අට්ටාලය උඩම තමයි.
කිරිල්ලි දවසේ වැඩි වෙලාවක් කූඩුවේ ඉන්න නිසා බිත්තර දැක ගන්න කාලාන්තරයක් පෙරුම් පුරන්න සිදු වුණා.

කිරිල්ලි කෑම කන්න යන වෙලාව බලාගෙන ඉදල බිත්තර වල පින්තූරයකුත් ගත්ත.නිල් පාට බිත්තර හතරක්ම තිබුණ.( පින්තූරයේ පේන්න තියෙන්නෙ බිත්තර තුනයි. අනික ගන්න හැදුවනම් මම අට්ටාලයෙන් බිමට වැටෙනවා)
ආසාවෙන් බලාගෙන හිටිය කුරුලු පැටවු එලියට එනකම්. ඒත් එක දවසක් රෑ හොදටම වැස්ස. දන්නවනේ බක් මහ වැහි ගැන. උදේ බලනකොට කූඩුව තියනව ඒත් බිත්තර වලට වෙච්ච දෙයක් නෑ. හුළගට වැටුනද ? එහෙමත් නැත්නම් සතෙක්  කෑවද ? 
 කිරිල්ලිත් හැම තැනම බිත්තර හොයනවා.මගෙ හිතට ගොඩක් දුක හිතුනේ කිරිල්ලි ගැන මිසක්, මගේ පින්තූර ටික ගන්න බැරි වුණ එකට නම් නෙවෙයි. ඒත් මම හිත හදාගත්තෙ මේ හැම දෙයක්ම සොභාදහමේ තීරණ නිසයි.

10/14/11

වී බිස්ස


                        අතීත ගම්මැද්දේ තිබූ තාක්ෂණයෙන් උසස් උපකරණයක් ලෙස වී බිස්ස හැදින්වෙනවා. යාපහුවට ආසන්න ගම්මැද්දකදී අපට හමුවු මෙම වී බිස්ස තවමත් භාවිතයේ පවතිනවා. එක් කන්නයනදී රැස් කර ගන්නා වී අනෙක් කන්නය තෙක් පරිස්සමින් පාරිභෝජනය කිරීමට ගැමි ජනතාවට සිදුවනවා. විවිද සතුන්ගේ හානි වලින් තම අස්වැන්න ආරක්ෂාකර ගැනීමට වී බිස්ස උපකාරී වනවා. වී, කුරහන්, හා අනෙකුත් ධාන්‍ය සදහා වෙන වෙනම බිස්සවල් අතීතයේදී ගම ගෙවල්වල සකස් කොට තිබුනා.   

10/6/11

දුම්බර රටා

                         අද අපි ගමන් කරන්නේ තලගුණේ ගම්මානය සොයාගෙනයි. මහනුවර සිට මහියංගනය දක්වා දිවෙන මාර්ගයේ හුන්නස්ගිරියට පසුව හමුවන උඩුදුම්බර නගරයෙන් හැරී තලගුණේ ගම්මානයට ගමන් කළ හැකියි. දුම්බර කඳුවැටිය පාමුල පිහිටා ඇති තලගුණේ ගම්මානය සුන්දරත්වය කැටිවුණ ගම්මානයක්. ගම්මානයට සුන්දරත්වය එක් කරන්නට කඳුවැටිය, කුඹුරු යාය වගේම පාරම්පරික කර්මාන්තයන්ද දායක වනවා. 
                                   මේ තමයි තලගුණේටම අවේණික වුන පාරම්පරික දුම්බර රටා කර්මාන්තය. අතීතයේදී දුම්බර රටා සහිත පැඳුරු පිළිබඳව අප අසා තිබෙනවා. නමුත් වර්තමානයේ දී දුම්බර රටා යෙදු බිත්ති සැරසිලි කලාවක් දක්නට ලැබෙනවා. අත් යන්ත‍්‍ර රෙදි විවීම ලංකාව පුරාම දක්නට ලැබුනත් දුම්බර රටා තලගුණේ ගම්මානයට පමනක් සීමා වී තිබෙනවා. අත් යන්ත‍්‍ර රෙදි විවීමේදී භාවිතා කරන යන්ත‍්‍රයම භාවිතා වුවත්, එයින් නිර්මාණය වන දුම්බර රටා සුවිශේෂී වනවා. විජය රජතුමා ලංකාවට ගොඩබසින විට කුවේණිය කපු කටිමින් සිටි බව ලංකා ඉතිහාසයේ සදහන් වනවා. දුම්බර රටා විවීමේ කලාවද එම යුගයේ සිටම පැවත එන්නක් බව විශ්වාස කෙරෙනවා.